නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




කැළෑ ගිනි වැළැක්විමට ඉදිකරන ජෛව ගිනි වැටි සකස්කිරීමේ අත්දැකීමක්

පරිසරය වනාහි නොනිම් දයානුකම්පාවෙන්ද තිළිණ ගුණයෙන්ද යුත් වටිනා ජීවිතයකි. හුදෙක් එය රැක ගැනීම අපගේ පරම යුතුකම වන්නේය. සීත මීදුම් තුහින අතරින් නකල්ස් කදු ඇස් මානයේ දිස්වෙද්දී මග දෙපස තේ වතු ද හීන් සීරුවට ගලා බස්නා දිය කදුරු ගංගා ද කේඩෑරී වී ගිය සිරුරු සහිත වයස්ගත ගැහැණු පිරිමි කිහිප දෙනෙකුද පසුකරමින් 2022 ඇසළ මස 16 වෙනි දින නකල්ස් ගොම්බානියා කදු පාමුල නෙල්ලිමලේ වතු යායට අප සේන්දු වුයේ පරිසර යුක්තිය උදෙසා තරුණ අපේ යුතුකම් ඉටුකිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. අත්හැරී ගිය තේ ප්‍රැක්ටිය ඉදිරියේ තමිල් ඇදුමින් සැරසී සිනාමුසු මුහුණින් සිටි කෙල්ලන් හා කොල්ලන් නළළෙහි තිලක තබමින් බුලත් හුරුලු දී ආචාර කරමින් අපව පිළිගත් අපුරුව වචනවලට පෙරළිය නොහැකි තරමේ සිතට ප්‍රීතියක් ඇති කළ සිද්ධියක් විය.
සිංහල තමිල් හෝ මුස්ලීම් ලෙස වෙන් වෙන්ව හදුනාගැනීමට නොහැකි පරිදි එක පොකුරට සිටි තරුණ කෙල්ලන් හා කොල්ලන් හැට හැත්තෑවක් උදලු පිහි එක්රැස් කර ගනිමින්ද වටිනා මී කොහොඹ කහට නා කුඹුක් උණ පුවක් දිවුල් නෙල්ලි ආදි පැළද පසෙකින් තබා ගනිමින් අප එනතුරු නොඉවසිල්ලෙන් මග බලා සිට ඇත. සියල්ලන් සමගින් ආ ගිය තොරතුරු විචාරීමට අමතක නොකළ අප සමින්ද හා ලක්මාල්ගේ දින සැලසුම අනුව තේ ප්‍රැක්ට්‍රිය තුළට ගියේ අද දින වැඩ ආරම්භ කිරිමටය. පැරණි තේ ප්‍රැක්ට්‍රිය තුලින් දැනුනු දුහුවිලි සුවද අපට කියා පෑවේ පෙර දින තේ ප්‍රැක්ට්‍රිය පිරිසිදු කිරීමට කොල්ලො කෙල්ලන් දැරූ වෙහෙස මහන්සියේ තරමය. අඩ සදක් සේ තුන් වටක් පෙළ ගස්වා තැබු බංකුවල සියලු දෙනා හිද ගත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතාගෙන් දැනමුතුකම් නිවැරදිව ලබා ගැනීමේ අරමුණින්ය. කැළෑ ගිනි වැළැක්විමට ඉදිකරන ගිනි වැටි තාක්ෂණයට අනුකූලව ඉදිකරන්නේ කෙසේද යන්න ඉතා සරලව මල්ටිමීඩියාද උපයෝගි කර ගනිමින් කියා දීමට ඔහු සමතෙක් විය. කොල්ලන්ට කෙල්ලන්ට පැනනැගුණ විවිධාකාර පැනවලටද පිළිතුරු දී ඔහු සියලු දෙනා හා මිත්‍රවීමටද සමත් විය. මේ සියලු දෑ තමිල් බසට පෙරළිමට මෙම සහභාගිකයින් අතරේ සිටි දිව්‍යා අමතක නොකළාය.
‍දැන න්‍යාය කරමු මෙහෙවර නිසිලෙස යනුවෙන් කතාව ඇරඹි කදුරට ප්‍රජා සංවර්ධන සංසදයේ සභාපති ප්‍රියන්ත ගොම්බානියා කදු පාමුල කැළෑ ගිනි වැළැක්වීමේ අරමුණින් කිලෝ මීටරයක් දුරට ජෛව වැටියක් සැකසීමට පිරිසට අවශ්‍ය උපදෙස් හා සියලුදෙනා පිළිපැදිය යුතු එකගතාවයන්ද සිහිපත් කරමින් වැඩසටහනට ජවයක් එක් කළේය. කෙල්ලෝ කොල්ලෝ යුහුසුලුව උදලු පිහි පැළ වර්ග වතුර බෝතල් ප්‍රථමාධාර පෙට්ටිද සමගින් ලක්මාල් සමින්ද හා පුෂ්පේ පිටුපසින් ඇදුණේ ගොම්බානියා කදු පාමුල ජෛව වැටියේ වැඩ කඩිනමින් ඇරඹීමේ අපේක්ෂාවෙනි. කොන්ක්‍රීට් කරන ලද පාර දිගේ ගමන් ගත් අප මහා නුග වෘක්ෂයක් ළගින් වම් අත පෙදෙසට පිහිටි දෙවැට දිගේ ලැයිම්ද පසුකරම්න් එකිනෙකා සමගින් විවධ දෑ මුමුණමින්ද සිනාසෙමින් ද අවට සිරි නරඔමින්ද ඉදිරියට ඇදුනෙමු.
. අර පෙනෙන්නේ ගොම්බානියා කන්ද එකෙක් කෑ ගසන්නට විය. අප ගිය දෙවැට අවසන් වී නැවතත් බොරලු ඇතිරූ මාවතක ඉදීරියටම ඇදුනෙමු. හිරිගඩු පිපෙන සීතල අවසන් කරමින් සියල්ලන්ගේ ගත උණුසුම්ව පැවතුණි.මාර්ගයෙන් පහළ අඩි පාරට වැටුණු අප නිසලව ගලා බස්නා ඇළේ සීත ජලයෙන් මුහුණ අත් පා තෙමා ගනිමින් ඇළ හරහා ගොඩ වී ගොම්බානියා කන්ද නැගීමට පටන් ගත්තේය. අප සියල්ලන් කිලෝ මීටරයක් තරම් දුරක් පසුකර විත් තැනින් තැන පිහිටි ගල් උඩ වාඩිවුයේ ගොම්බානියා කදු පාමුල සිට දෑස් මානයේ දිස්වන චමත්කාරය නෙත් පුරා විද ගැනීමට ඇති වූ දැඩි ලෝභය නිසාවෙන්මය. මොහොතක් ගත වන්නට ඇත. අප සියලු දෙනා 85කට වඩා වැඩි නැතත් අඩු නැත.කෙල්ලෝ ද කොල්ලෝද සිංහලද තමිල්ද මුස්ලීම්ද වයසද අදාළ වුයේ නැත .සියලු දෙනා කණ්ඩායම් 7කට බෙදුවේ සමින්දය. පුෂ්පේ කණ්ඩායම් 7ට නියමිත ස්ථාන අපුරුවට බෙදා දුන්නේය. කිසිවෙකු මැදිහත් නොවුවද පැළ එකම ස්ථානයක තබා ගෙනා උපකරණ සමව බෙදා ගැනීමට සියල්ලන්ම දැක්වු දායකත්වය උනුන් තුළ උපන් සහෝදරත්වය ගැන මනාවට කියා පෑවේය. සියල්ලෝම නැකතකට මෙන් එකවිටම වැඩ ඇරඔුවෝය. කණ්ඩායමේ එකෙකුට මහන්සි දැනීමට පෙර අනෙකා උදලු ඉල්ලා ගනිති.තවකෙක් උගුල්වන ලද පැගිරි මානා අතින් එකතු කර ජෛව වැටියේ සීමාවෙන් පිටතට විසි කරති. විශාලව වැඩුණු පැගිරි මානා පොලුවලින් ගසා පොළොවට පාත් කිරිමට තවකෙක් වෙහෙසෙති. ඒ් අතර සීතල වතුර වීදුරු ළගට සප්පායම් කරමින් තවකෙක් කණ්ඩායමේ උන් ගැන සුව දුක් විචාරති. ඒ් අතර ගොම්බානියා කන්දේ හැපී තවත් කදු සිසාරමින්ද සුළගේ පාවි රැවු පිළිරැවු දුන්නේ උන්ගේම සිනා හඩවල්ය. එකා දෙන්නා වෙහෙස නිවා ගැනීමට බිම හිද ගැනීමටද අමතක නොකළේය.
ගොම්බානියා කදු පාමුල අප සිටින තැනට හිරු කිරණ වුවද පතිත වූයේ සෞම්‍ය ලෙසටමය. පෙර දින ඇද හැලුණ වර්ෂාවෙන් තෙමී ගිය පොළොවේ පැගිරි මානා ගැළවිම අපට අපහසු කාර්යයක් වුයේ නැත. සොබා දහම මේ තරම් අපට උදවු දෙන්නේ අප කරන්නා වු කාර්යය ගැන දැනගෙනදෝ මට සිතුණ වාර ගණන අනන්තය. වේලාව 11.30ට පමණ ඇත. එලවලු බනිස් කෙසෙල් සමගින් තේ කහට කෝප්පයක් ලබා දීමට සමින්දලා අමතක කර තිබුණේ නැත. සියල්ලන් වෙහෙස නිවා ගන්නා ගමන් තම කණ්ඩායම්වල ප්‍රගතිය උනුන් හා සැසදීමටද අමතක නොකළේය . වැහි වළාකුලු අහසේ තැනින් තැන එබිකම් කිරිමට පටන් ගෙන ඇත. සියල්ලන් යුහුසුලුව වැඩට බැස්සේය. මීටර 10ක් පළලට කිලෝ මීටරයක් දුරට ජෛව වැටිය සැකසීම සියල්ලන්ගේම අරමුණ විය. දහදිය පෙරා ගත් කෙල්ලන් හා කොල්ලන් කඩි රැලක් මෙන් එක පිම්මට වැඩ කරගෙන යති. ADFA /UCDF සංවිධානයේ රාගල් අයේෂා චමින්ද දයා චිත්‍රා චන්දන නෂීරා ඇතුලු සියලු දෙනාද ඔවුන් හා උරෙන් උර ගැටී දවසේ අරමුණ ජය ගැනීමට උර දුන් බව නිහතමානිව සිහිපත් කිරිම යුක්ති සහගත යැයි මට සිතේ. මේ සියලු කාර්යයන් මැද්දේ ප්‍රියන්ත අතීතයට එක්වන සියලු රසමුසු තැන් කැමරා කාචයට හසු කර ගැනීමටද අමතක නොකළේය. රජයේ හා පෞද්ගලික ආයතනවල රාජකාරියේ නියුතු අප ස්වේජාවෙන් සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනද කැපකරමින් පරිසර යුක්තිය උදෙසා කරන්නාවු මෙම මෙහෙයට සම්බන්ධ වීම නිමිත්තෙන් සිතට දැණුනු සතුට අනන්තය. සියලු පෞද්ගලික කාර්යයන්ද දරු මල්ලන්ද අමතක කර අප මෙම දෙදින පුරා කිරිමට උත්සාහ ගන්නා වු කාර්යය සම්බන්ධයෙන් අපගේ සිත් තුළ උපන් ආඩම්බරය මට කිසි ලෙසකින් වචනවලට පෙරළීමට නම් නොහැකිය.ඇත්තෙන්ම එය ස්වේච්ජාව තුළින් උපන් නිරාමිස සතුටකි.
අප එක දිගට පැය 3ක් පමණ වැඩ කරන්නට ඇත. ජෛව ගිනි වැටිය ගොම්බානියා කන්දේ මිටර 10ක් පළලට දිගින් මිටර 150ක් පමණ දුරට හෙළිපෙහෙළි වී හමාරය. කිහිපදෙනෙක් හෙළි පෙහෙළි කළ දෙපස මායිමේ ගිනි සීරියා කෝටු දෙවැටි මෙන් සැකසීමට පටන් ගත්තේය. තවකෙක් මීටර් 5ක පරතරයට සික්සැක් හැඩයෙන් පැළ සිටුවීමට වලවල් කැපිමට කෝටුවක ආධාරයෙන් දුර මැන ස්ථාන ලකුණු කර දුන්නේය. ලකුණු කරන ලද ස්ථානවල උදලු අතැති උන් වළවල් බිදීමට පටන් ගත්තේය. අනෙක් තරුණ කෙල්ලන් කොල්ලන් ගොම්බානියා කන්දේ පැළපදියම් වී මුර සෙබලුන් ලෙස ගිනි වැටියක් වී නකල්ස් රැකීමට ගෙන ආ වන පැල රෝපණය කිරිමට පටන් ගත්තේය. එකානෙකා නොහදුනනා අනේක ජාතියේ පැළ මොහොතකින් මහ පොලොවේ ජන්මය ලැබුවා පමණි. මහ පොලොව හීන් සීරුවට හුස්මක් පිටකළාය . කදු මුදුන් සිසාරා හමා ආ සුළග ජනමය ලැබුවන් පිළිගන්න මෙන් ගොම්බානියා කන්දේ මොහොතක් නතරවී හෙමින්ම හෙමින් හමා ගියේ අලුත් දලු කොලවලට රිදේවී යැයි ඔවුන්ට සිතුණ නිසා වන්නට ඇත. අහස එක දෙක පිරිත් පැන් මහ පොළොවට ඉසින්නට පටන් ගත්තේය. මෙය නම් ස්වභාව ධර්මයමයි . මට තවත් මේ මහා අසිරිය වචනවලට පෙරළිය නොහැකිය. එය ඔබේ නෙත් සගළින් බැලිමට ඇරයුම් කරමින් ඔබට යමක් සිතන්නට ඉඩ තැබිම වඩා උචිත යැයි මට සිතේ. ඇද හැලෙන සිරි පොදින් තෙත බරිත වු ඇදුම් සහිත කෙල්ලන්ට කොල්ලන්ට අද සවසේ නවාතැනට නික්මීමට වේලාව ඇවිදින්ය. සියල්ලන් උදලු පිහි එක් රැස් කර ගනිමින් උනුන් කළ වැඩෙහි හැඩ බලමින් හෙට දවසේ කළ යුතු කාර්යයන්ද සාකච්ජා කරමින් මහ උජාරුවට නවාතැන බලා පිටත් වන්නට පටන් ගත්තේය. මේ අපේ සුන්දර අනාගතයයි. ඔවුන් පසුපස ඇදුණු මට සිතුණේ එපමණකි.
දවසේ කළ කී දේ සම්බන්ධයෙන් තොර තෝංචියක් නැතිව එකිනෙකා හා අදහස් හුවමාරු කර ගනිමින් දවල් ආහාරය සවස භුක්ති විදින මේ කෙල්ලෝ කොල්ලෝ අපුර්වත්වයෙන් පිරි කණ්ඩායමකි.මහනුවර පන්විල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී කොට්ඨාශ කිහිපයක විසිරී සිටි CBO නායකයන්ද සාමාජිකයන්ද වන මොවුන් අවුරුදු 15 සිට අවුරුදු 25 දක්වා වයස් ඛාණ්ඩවලට අයත් තමිල් සිංහල මුස්ලීම් යන ජන වර්ගවලට අයත් තරුණ කණ්ඩායමකි. වයස ආගම ජාතිය භාෂාව හෝ කලු සුදු වර්ණ ඔවුන්ගේ සහෝදරත්වයට බාධාවක් වුයේ නැත. එකම ජාතිකත්වයක් සහෝදරත්වයක් තුළින් උපන් කෙල්ලන් හා කොල්ලන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම අපුර්ව සුන්දරත්වයක් මවා පෑවේය. කෑමෙන් පසු සිතල වතුර නෑම ඔවුන්ගේ අභිප්‍රාය විය . එකෙක් දෙන්නෛක් හැරුණු විට සියල්ලෝම තේ ප්‍රැක්ට්‍රියට පහළින් ගලා බස්නා ගගට බැස සිත් සේ තුටින් දිය කෙළියේ යෙදෙමින් නා ගත්හ. මීදුම් සේලවලින් එතුණ කදු වළල්ලෙන් එපිට ඉර අවරට යත්ම තවත් අපුරු චිත්‍රයක් සේ නෙත් මානයේ කුරුලු රෑන් පියඹා යන දසුන දිස් වන්නට විය . උහුලා ගත නොහැකි සීතල උහුලා සිටිමද අප සියල්ලන්ට අපුරු අත්දැකිමක් එක් කළේය. උණුවෙන් කහට කෝප්පයක් තොල ගා නැවතත් තේ ප්‍රැක්ට්‍රියේ බංකුවල අප හිද ගත්තේ උනුන්ගේ දක්ෂතාවලට අවස්ථවක් ලබාදීමටය. ඉටිපන්දම් එළියෙන් කලු සුදු මුහුණු ලාවට පෙනුනද උන්ගේ කටහඩවල් විවිධ තාලයන්ට අපුරු රස එක් කරමින් කව් ගීත ඇසෙන්නට විය. තාලයට නැගෙන අත්පොළසන් හඩ ගොම්බානියා කදු මුදුනද පසුකර යන්නට ඇත. වේලාව රෑ 9.00 පසුවන්නට ඇත. සියල්ලෝම උණු උණුවේ රෑ කෑම ගත්තෝය. පසුදින කළ යුතු වැඩ පිළිබද සමාලෝචනය කළෝය. ඒ පිලිබද සිතමින් සියල්ලෝම නින්දට ගියෝය. වේලාව පාන්දර 5.00 ට පමණ ඇත. හැමෝම අවදිවී තම තමන්ගේ පිරිසිදු විමේ කාර්යයන් යුහුසුලුව කරගත්හ. එකෙක් ඒ අතරට කිරි තේ බෙදුවේය. මීදුම් තුහින දෑසට ලස්සනය. ගතට නම් හිරිගඩුවලින් අඩුවක් නොමැත. කෙල්ලන් කොල්ලන් වැඩට සුදුසු ඇදුම් ඇග ලා ගෙන සිටිති . උදෑසන ආහාරයද සියල්ලෝම එක්ව භුක්ති වින්දෝය. සමින්ද ලක්මාල් සියල්ලන්ටම උපදෙස් ලබා දුන්නෝය. උදලු පිහිද අනෙක් අවශ්‍ය කළමනාද එක්රැස් කර ගනිමින් සියල්ලෝම සතුටින් පෙර දින වැඩ නිම කළ ස්ථානයෙන් වැඩ ඇරඹීමට එක්ව ගමන් ගත්තෝය. පෙර දින ගොම්බානියා කන්දේ ජන්මය ලැබු වන පැළ අප දැක සිනාසුණේය. සිතට දැනුනු සතුට අප සියල්ලන් එකිනෙකාගේ මුහුණු බලමින් බෙදාහදා ගත්තේය. පෙරදා මෙන් කණ්ඩායම් ලෙසින්ම සියල්ලන් ම වැඩට බැස්සේය.
එකෙක් සීමාව නිවැරදිදැයි බලයි. තවකෙක් පැගිරි මානා උගුල්වති. ඒවා සීමාවෙන් පිටතට විසි කරති. උදලු එකිනෙකා අත හුවමාරු වී වැඩ ඉක්මන් කර ගනිති. ඒ අතරට ගිණි වැටි දෙපස ගිනි සීරියා කෝටු සිටුවති. තවකෙක් පැළ සිටුවීමට වළවල් කපති. සියල්ලන්ගේ දෑත්වලින් වන පැළ ගොම්බානියා කන්දේ ජීවය ලැබීමට මහ පොළොව හා එක්වෙති. මේ සියල්ල මැද්දේ වෙහෙස නිවා ගැනීමට තේ සප්පායම් කිරිමටද පිරිස අමතක කළේ නැත. පෙර දිනට වඩා අද විශේෂිතය. ඒ අපත් සමග ගම්මුන්ද මෙම සත්කාරිය කිරීමට ස්වේච්ජාවෙන් එක්වීමය. ඒ ගැන කෙල්ලෝ කොල්ලෝ කතා කළේ ආඩම්බරයෙනි. සවස් වීමට ඇත්තේ තව හෝරා කිහිපයකි. කිසිවෙකුට කුසගිනි දැනුණේ නැත. දෙදින පුරාවට ජෛව ගිණි වැටිය කිලෝ මීටර 550ක් පමණ හෙළිපෙහෙළි කර පැල රෝපණ ‍කිරිමට අප සමත් විය. රුපියල්වලට පෙරළිය නොහැකි අත්දැකීම් සමුදායක් අප දෙදින පුරාවට එක්රැස් කරගෙන ඇත.
තවත් කිලෝ මීටර 450ක් පමණ දුර ගිණි වැටිය සැකසීමට ඉතුරුව ඇත. දවස නිමවීමට ඇත්තේ හෝරා කිහිපයකි. 2022. 07 30 හා 31 යන දෙදින නැවතත් ගොම්බානියා කදු පා මුලට විත් ජෛව වැටියේ ඉතිරි කොටස නිම කිරිමට සියල්ලන් කතිකා කර ගත්හ. ප්‍රියන්ත කොල්ලන්ට කෙල්ලන්ට ගම්මුන්ට මෙන්ම අපටත් නොඅඩුව ස්තුතියි කලේය . මේ වන අරණ රැක ගැනීමට ඔවුන්ටම භාර කළේය.ඔවුන්ගේ දෑස් මානයට මම එබී බැලුවෙමි. සත්තකින්ම උන් එය රැක ගනිවී . ඒ් දෑස්වලින් මා දුටුවේ එපමණකි. දෙදිනක් පුරාවට ගොම්බානියා කදු පාමුල සිට විදි අත්දැකීම් සමුදාය අතරින් සියල්ලන්ටම සමුගෙනයාම දුකක් විය. ඒ සිංහල තමිල් මුස්ලීම් සහෝදරත්වය තනි කර දමා යෑමේ දුකද? මේ ගහ කොල අතහැර යෑමේ දුකද? නැතිනම් ඒ සියල්ලම ද? පරිසරය උදෙසා යුක්තිය ඉටු කිරිමට අපගේ අවශ්‍යතාවය ඇත්තේ කොතැනකද ? එතනදී නැවතත් සියල්ලන් හා එක්ව කටයුතු කිරිමට සියල්ලෝම අදිටන් කර ගත්හ. ඒ අදිටනින් ඉර අවරට යන අතරේම ගොම්බානියා කදු වළල්ලට සමු දුන් අප සියල්ලන් නිවෙස් බලා ගමන් ගත්තේ 2022 07 30 වන දින නැවතත් අප සියල්ලන් හමුවීමේ සතුට සිතෙහි දරාගනිමින්ය.
පෙරඹරත් කර සුරත් නැගෙද්දී නව ඉරත් සියලු මානවයෝ රැකගනීවා මේ සොදුරු පරිසරය
සටහන - දිනුෂා සෙව්වන්දි කදුරට ප්‍රජා සංවර්ධන සංසදය

Post a Comment

0 Comments